රයිට් සහෝදරයෝ




      





     මිනිසුන් තනි තනිව කරන අරගල සමස්ත ලෝකයම ඉදිරියට ගෙන යාමට දායක වී ඇතැයි කියන්නට පුළුවන. තනි අරමුණු උදෙසා කැප වී ක්‍රියා කළ තැනැත්තන්ගේ සොයාගැනීම් හේතුවෙන් මුළු මහත් මිනිස් වර්ගයාටම මහත් ප්‍රයෝජන අත්වූ අතර ලෝකය ඉදිරියට ගොස් තිබෙන්නේ එවන් දිරිය මිනිසුන්ගේ සොයා ගැනීම්,නව අදහස්,සංකල්ප ආදිය මතිනි. මෙසේ ලෝකයේ ඉදිරි ගමනට සුවිශාල පිම්මක් ලබා දුන් පුද්ගලයෝ දෙදෙනෙකි ගුවන් යානය සොයා ගත් රයිට් සහෝදරයෝ.

           ලෝකයේ ප්‍රථම සාර්ථක ගුවන් යානය සොයාගැනීම හා නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ මෙම රයිට් සොහොයුරු දෙපළටය. මොවුන්ට පෙර ගුවන් යානා නිර්මාණය කර, අත්හදා බලා ඇතත්, ගුවනේදී නියමුවට පාලනය කළ හැකි ගුවන් යානයක් හැදීමේ ගෞරවය හිමි වන්නේ මේ දෙදෙනාටය. 

           රයිට් සහෝදයන් හෙවත් විල්බර් රයිට්ගේ සහ ඕවිල් රයිට්ගේ මවුපියෝ වුවෝ සුසාන් කැතරින් සහ මිල්ටන් රයිට් යන දෙපළට දාව යි. විල්බර් රයිට් 1867 අප්‍රේල් 16 වැනිදා උපන්නේ ය. ඕවිල් රයිට් උපත ලැබුවේ 1871 අගෝස්තු 19 වැනිදා ය. ඔහු රයිට් පවුලේ සිව්වැනි දරුවාය. ඕවිල් සහ විල්බර් යන රයිට් සහෝදරයන් දෙදෙනා හැදී වැඩුණේ විශාල පවුලකයි. ඔවුන්ගේ පියා පුවත්පත් කර්තෘ වරයෙක් සහ බිෂොප්වරයෙක්ද විය. කුඩා කළ සිට රයිට් දරුවන්ට තමන්ගේකියා සංකල්පනාවන් වැඩි දියුණු කර ගැනීමටත්, ඉගෙනීමටත්, අත්හදා බැලීම්වලටත් අතහිත  ලැබිණි.

          පන්ති කාමරයේ දී සෙල්ලම් හෙලිකොප්ටරයක් හදමින් සිට අසුවූ ඕවිල් සිය ගුරුවරයාට  කියා සිටියේ ''අපි දෙන්නාටම යා හැකි ආකාරයේ පියඹන යානයක් කවදා හෝ හැදීමට'' අරමුණු කර ගෙන සිටින බවයි.  

         වයස අවුරුදු 18දී, ඕවිල් රයිට් උසස් අධ්‍යාපනය අත්හැර දමා, තමාම නිර්මාණය කල මුද්‍රණ යන්ත්‍රවලින් මුද්‍රණ ව්‍යාපාරයක් ඇරඹීය. පසුව මෙයටම  විල්බර්ද එකතු විය. ඔවුන්ගේ ව්‍යාපාරය සාර්ථක විය. 1893 දී පමණ පාපැදි ජනප්‍රිය වීමත් සමඟ ඔවුන් පාපැදි අලුත්වැඩියා හලක් ඇරඹූහ. එය සාර්ථක ව්‍යාපාරයක් වූ බැවින් වෙනත් කටයුතු කෙරෙහි යොමු කරන්නට ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ඉතිරිව තිබිණි.  

         1896 දී පියාඹන යානා අත්හදාබැලීම් පිළිබඳ පුවත්වලින් පුවත්පත් පිරී තිබිණි. රයිට් සොහොයුරෝ මේ ගුවන් යානා වල ඇති එක් අඩුවක් දුටුවහ. පාරේදී පාපැදිකරුවෙකු පාපැදිය පාලනය කරන්නා සේ ගුවනේදී නියමුවාට ගුවන් යානට පාලනය කළ හැකි ක්‍රමයක් සොයන්නට ඔවුහු වෙහෙස වූහ. 

        1902 දී සිය ග්ලයිඩරය සමග කිටී හෝක් වෙරළට ගිය රයිට් සහෝදරයෝ දෙදෙනා 700වාරයකටත් වඩා සාර්ථක පියාසැරීම් අත්හදා බැලූහ. ඔවුහු මෙම කටයුතු වල යෙදුණේ වැලි කඳු අතර මදුරුවන්ගේ ප්‍රහාරවලට කල්වෙමින් දහදුක් විඳිමිනි.

         1903 දෙසැම්බර් 17 වැනිදා සුළං බහුල වෙරළකදී අඩි 20ක් පමණ ඉහළ අහසේ දී පළමු ගුවන් යානය (නියමුවෙකු සහිත) ඕවිල් රයිට් අත්හදා බැලීය. එම පියාසැරිය තත්පර 12ක් පැවති අතර අඩි 120ක් පමණ දුරක් පියාසරන ලදි. එදිනම ඕවිල්ගේ සොහොයුරු විල්බර් විසින් තවත් තෙවරක් ගුවන් යානය අත්හදා බලන ලදි. එහිදී තත්පර 59 අඩි 852ක දුරක් ගමන් කිරීමට හැකි විය. 1905 ඔක්තෝබර් 05 වැනිදා රයිට් සොහොයුරෝ විනාඩි 3ක් ඇතුළත කි.මී.38.9ක් පමණ පියාසැරූහ. 

        රයිට් සොහොයුරෝ එක්සත් ජනපද හමුදාවට සිය නවතම නිර්මාණය විකිණීමට උත්සාහ කළ අතර බොහෝ උත්සාහ කිරීමෙන් අනතුරුව තවත් වැඩි දියුණු කර, යානයට ඉල්ලුමක් ලැබෙන ආකාරයට සකස් කර ගන්නා ලදි. අනතුරු හා අසාර්ථකවීම් මැදින් වුවද ඔවුහු අවසන කෙසේ හෝ සාර්ථකත්වය ළඟා කර ගත් හ.

        1909 නොවැම්බර් 22 වැනිදා රයිට් සහෝදරයෝ සමාගම ආරම්භ විය. විල්බර් රයිට්   සභාපති වූ අතර ඕවිල් රයිට් උප සභාපති විය. වයස අවුරුදු 45 දී එනම් 1912 මැයි 30 වැනිදා විල්බර් රයිට් ජීවිතයෙන් සමුගත්තේ ය. ඕවිල් රයිට් වසර 28ක් පමණ නාසා ආයතනයේ සේවය කළේ ය. 1930 අප්‍රේල් 08 වැනිදා ඩැනියෙල් ගගන්හේම් පදක්කම් දිනා ගත්තේ ය. 1936 අප්‍රේල් 29 වැනිදා ජාතික විද්‍යා ඇකඩමියේ සාමාජිකත්වයද ඔහුට හිමි විය. වසර 76ක් ජීවත් වූ ඔහු 1948 ජනවාරි 30 වැනිදා ජීවිතයෙන් සමු ගත්තේය. 

Post a Comment

3 Comments