කුරුස යුද්ධයේ කතාව
අතීතයේදී ක්‍රිස්තු භක්තිකයන් හා මුස්ලිම් භක්තිකයන් අතර ඇති වූ සටන් මාලාවකි. ක්‍රිස්තු භක්තිකයන් විසින් වන්දනා කෙරුණු ජෙරුසෙලම ඇතුලු ප්‍රදේශ කිහිපයක් විය. ඒවා හඳුන්වන ලද්දේ ශුද්ධ භූමි යනුවෙනි. පසුව එම ප්‍රදේශ මුස්ලිම්වරුන්ගේ ග්‍රහණයට නතු විය. එම බිම් අයිති කර ගැනීම සඳහා අවස්ථා හතරකදී කිතුනු බැතිමතුන් හා මුස්ලිම්වරුන් අතර සටනක් ඇති විණි. එම සටන් කුරුස යුද්ධ යනුවෙන් හැඳින්විණ. මේ ඒ කුරුස යුද්ධය ගැනයි.
ජෙරුසිලම යනු කිතුනු බැතිමතුන්ගේ ශූද්ධ වූ පූජා භූමියකි. එය ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ උපන් ස්ථානය යයි සැලකේ. මේ නිසා ලොව පුරා සිටින ක්‍රිස්තු භක්තිකයෝ මේ ශූද්ධ භූමිය වන්දනා කිරීමට නිරත වූහ. එකොළොස් වැනි ශත වර්ෂයේදී පමණ ජෙරුසෙලමේ බලය ටර්ක්වරු හෙවත් මුස්ලිම්වරු අල්ලා ගත්හ. ඔවුන්ගේ පාලනය යටතේ ද කිතුනුවන්ට ශූද්ධ භූමි වන්දනා කිරීමට අවස්ථාව ලැබිණි. ඒ තත්ත්වය වැඩි කලක් නො පැවතිණ. මුස්ලිම්වරු කිතුනු බැතිමතුන්ට වරින් වර පහර දෙන්නට පටන් ගත්හ. බැතිමත්හු මරා දැමුණාහ. මේ තත්ත්වය යටතේ එවකට පාප් ධූරය දැරූ අර්බන් පාප් තුමා මුස්ලිම්වරුන්ට විරුද්ධව නැගී සිටියේය. ඔහු යුද්ධයට පෙළ ගැසෙන ලෙස යුරෝපීය කිතුනුවන්ට දන්වා සිටියේය. ඔහුගේ අරමුණ වූයේ මුස්ලිම් ටර්ක්වරුන්ගේ ජෙරුසෙලම මුදවා ගැනීමයි. එම යුද්ධය පළමු කුරුස යුද්ධය හෙවත් ශූද්ධ යුද්ධය ලෙස හැඳින්විණ.
අර්බන් පාප් තුමාගේ නිවේදනය අනුව එක් රැස් වූ කිතුනුවන් අතර පල්ලියේ නිලධාරී හු ප්‍රභූවරුන් මෙන්ම පහත් කුලවල අයද වූහ. ඔවුන් එයට සහභාගී වූයේ මහත් උනන්දුවකින් හා ධෛර්යයකිනි. පාප් තුමා නිවේදනය කර සිටියේ මේ යුද්ධයට සහභාගී වන අයගේ පව්වලට සමාව දෙන බවත් ඔවුන්ගේ දේපල ආරක්ෂා කර දෙන බවත් ය. එමෙන්ම යුද්ධයේදී මිය යන්නවුන් සදාතනික ස්වර්ගයට යන බවද නිවේදනය කළේ ය.
පළමු කුරුස යුද්ධය
(ක්‍රි.ව.1096-1099)
පළමු කුරුස යුද්ධයට දස දහස් ගණනක් දෙනා සහභාගී වූහ. එනමුත් ඔවුන්ට ප්‍රමාණවත් ආයුධ නොතිබිණි. ආහාර පානද නොවීය. මේ නිසා බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු විය. ඇතැම් අය මරණයට පවා පත්වූහ. කෙසේ වෙතත් ගොඩබිම හා මුහුදු මාර්ග ඔස්සේ ගිය අය සතුරන්ට නොබියව මුහුණ දී දරුණු සටන් අවසානයේ ඇන්ටියොක් හා ජෙරුසෙලම පෙදෙස් අල්ලා ගනු ලැබූහ. එමෙන්ම අවට ප්‍රදේශ වල බලය තහවුරු කරගත් හ.
දෙවැනි කුරුස යුද්ධය
(ක්‍රි.ව.1147-1149)
පළමු යුද්ධයෙන් ජයග්‍රහණය අත්පත් කර ගත්තත් කිතුනු බැතිමතුන් අතර අරගල පැවතිණි. මේ අසමගිය මුස්ලිම්වරු ද දැන සිටියහ. ඉන් ප්‍රයෝජන ගත් මුස්ලිම්වරු ක්‍රි.ව.1144 දී ක්‍රිස්තු භක්තිකයන්ගේ ඉතාම වැදගත් මධ්‍යස්ථානයක් ලෙසද පැවති එඩෙස්සා අල්ලා ගනු ලැබූ හ. මේ නිසා එවකට පාප් ධූරය දැරූ තුන්වන එවුජින් පාප්තුම දෙවැනි කුරුස යුද්ධයට මුල පිරීය. එහෙත් ගිලීහී ගිය බලය නැවත අල්ලා ගැනීමට කිතුනුවෝ සමත් නොවූ හ. මුස්ලිම්වරු ඉදිරියට යමින් බලය නැවත තහවුරු කර ගන්නා විට කිතුනුවෝ පසුබැස්සහ. මුස්ලිම්වරු නැවත ජෙරුසෙලමේ බලය අල්ලා ගත් හ. මෙම සටනේදී පෙරමුණ ගෙන කටයුතු කළේ සැලඩින් අධිරාජයායි. ඔහු බටහිර ආසියාවේ සියලු මුස්ලිම්වරුන් එක්සත් කල අයෙකු ලෙස කීර්තියට පත් වූවෙකි.
තෙවැනි කුරුස යුද්ධය
(ක්‍රි.ව.1189-1191)
ජෙරුසෙලමේ බලය අහිමි වීම බටහිර සිටි කිතුනුවන්ට බලවත් පහරක් විය. එය තෙවැනි කුරුස යුද්ධයකට පසුබිම් විය. එවකට යුරෝපයේ සිටි ප්‍රබල රජවරු කිහිප දෙනෙක් සැලඩින් අධිරාජයා සමග සටනට පිවිසිය හ. එහෙත් සටනට පැමිණි රජවරුන් අතර කුලල් කා ගැනීම් දරුණුව තිබුණි. ඒ කුලල් කා ගැනීම් අවසානයේ ඉතිරි වූයේ එක් රජෙකු පමණි. ඔහු තම පිරිස සමඟ ප්‍රදේශ කිහිපයක බලය අල්ලා ගැනීමට සමත් වූ නමුත් සැලඩින් අධිරාජයා පරදා ජෙරුසෙලම අල්ලා ගැනීමට තරම් සමත් වූයේ නැත. මේ රජුගේ ගතිපැවතුම් ගැන පැහැදුනු සැලඩින් අධිරාජයා ඔහු සමඟ ගිවිසුමකට එළඹ ශූද්ධ භූමි වන්දනා කිරීමට කිතුනුවන්ට අවසර ලබා දුන්නේය.
හතර වැනි කුරුස යුද්ධය
(ක්‍රි.ව.1202-1204)
මේ සටනින් ද සෑහීමට පත් නොවූ ඉනසන්ටා නම් පාප්තුමා මුස්ලිම් ආධිපත්‍යයෙන් ජෙරුසෙලම බේරා ගැනීම සඳහා සටන් වඳින ලෙස කිතුනුවන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව කුරුස යුද භටයෝ කොන්ස්තන්තිනෝපලය දක්වා නැව් මඟින් පැමිණි නමුත් බලය අල්ලා ගත නොහැකිව පසු බැස්සහ. ඔවුන් බහුතරයක් සටන් වැදුණේ මුස්ලිම්වරුන් සමග නොව කිතුනුවන් සමග ය. එය සිදු වීම කිතුනුවන්ට ඓතිහාසික කැළලක් එක් කල සටනක් ද විය.
ළමයින්ගේ කුරුස යුද්ධය
මෙය පස්වැනි කුරුස යුද්ධය වශයෙන් සැලකේ. හතර වැනි කුරුස යුද්ධයේදී ලැබූ පරාජයේ අමිහිරි අත්දැකීම් නිසා පසුබටව සිටි කිතුනුවන් ඔවුන්ගේ ඊළඟ උපක්‍රමය ලෙස යොදා ගත්තේ ළමයින් ය. ළමයින් තිස් දහසක් පමණ පා ගමනින් මධ්‍යධරණී මුහුද දක්වා ගමන් කළහ. වැඩි දෙනෙක් ආහාර හිඟ වීමෙනුත් ලෙඩ රෝග වලට ගොඳුරු වීමෙනුත් මිය ගියහ. මුස්ලිම්වරුන්ට අසුවූ ඇතැම් ළමයි වහලුන් ලෙස විකුණනු ලැබූහ.
කුරුස යුද්ධ වල ප්‍රතිඵල
අවස්ථා ගණනකදී උත්සාහ කළ නමුත් ශූද්ධ භූමි දිනා ගැනීමේ සටන නිරර්ථක විය. එහෙත් එයින් ලැබුනු යහපත් ප්‍රතිඵල ගණනාවකි. යුරෝපයේ මදධ්යකාලීන ජීවන රටාව වෙනස් වීම පෙරදිග රටවල පැවති දියුණු ශිෂ්ටාචාරය,අලුත් අදහස් හා සැලසුම් කිතුනුවන් විසින් යුරෝපයට ගෙන යාම.සේද,සීනි,බෙහෙත් වර්ග,කුළුබඩු වර්ග,වටිනා ගල් වර්ග,වීදුරු ආදී පෙරදිග නිෂ්පාදිත භාණ්ඩ යුරෝපයට ගෙන ගියේය. වෙළෙඳ භාණ්ඩවලට යුරෝපයේ ඉල්ලුමක් ඇති විට පෙරදිග රටවල් සමඟ වෙළෙඳ සබඳතා ඇති විය. පෙරපර දෙදිග අතර වෙළෙඳ මධ්‍යස්ථාන දියුණුවට පත් විය.
යුද්ධයට සහභාගී වීම පිණිස ඇතැම් ප්රභූවරු ඉඩම් විකුණා යුරෝපයට ගියහ. තවත් අය යුද්ධයේදී මිය ගියහ. මේ නිසා ප්‍රභූ බලය බිඳී ගියේය. ප්‍රභූ ඉඩකඩම් වල සේවය කළ ප්රවේණිදාසයන්ට නිදහස ලැබිණි. යුද්ධයට සහභාගී වීමෙන් පසු යුරෝපීයන් තුළ නිර්භීත හැඟීම් හා අනතුරුවලට මුහුණ දීමේ ශක්තිය ඇති විය. පෙරදිග සමඟ පැවති සබඳතා හේතුවෙන් පෙරදිග තිබූ විද්‍යා දැනුම,නිපැයුම්,අරාබි ඉලක්කම්,වීජ ගණිතය ආදිය අපරදිග වැසියෝද ඉගෙන ගත් හ.ඇරිස්ටෝටල්ගේ කෘති යුරෝපයට ගෙන ගොස් පරිවර්තනය කෙරිණි. පාප් තනතුරේ ප්‍රගතිය මෙන්ම පරිහාණියක්ද කුරුස යුද්ධ නිසා ඇති බව පිළිගැණේ. පස්වැනි කුරුස යුද්ධය දක්වා පාප්වරුන් සමාජයේ පෙරමුණ ගෙන ක්‍රියා කළත් ඉන්පසුව ඔවුන් සතු වූ බලය පිරිහිණි.

15 Comments
Nice dear 😍
ReplyDeleteSuper
ReplyDeleteGood
ReplyDeleteNiyamay 🥰
ReplyDeleteNiyamai
ReplyDeleteවැදගත් ලිපියක්
ReplyDeleteVeleuble
ReplyDelete👍👍
ReplyDeleteSuper 👍
ReplyDeleteGreat ❤️
ReplyDeleteසෑම මිනිසෙකුම පොරබැදුවේ නොලැබුන හීන මැවූ අනාගතයකටය..සියල්ලන්ටම ප්‍රේම කරන්න..ඒ ජේසු තුමාගේ වදනය.
ReplyDeleteනමුත් සිදුවන්නේ එයම කියමින් ඊට වෙනස් දෙයකි
good
ReplyDeleteGood
ReplyDeleteGreat one 🥂💛
ReplyDeleteGreat one 💪
ReplyDelete