සාහිත්‍ය



         අපේ සාහිත්‍ය වංශය ආරම්භ වන්නේ අනුරාධපුරයෙනි. එතැන් පටන් මේ දක්වා ආ යුගවලදී පොත පත නොමඳව බිහි විය. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබිණි. ඉතා සාරවත් සාහිත්‍යක් සිංහලයා සතු වූයේ අතීත කතුවරුන්ගේ කැපවීම හේතුවෙනි. එදා උගත් හූ මහත් පරිශ්‍රමයකින් යුක්තව පොතපත ලියන්නට වෙහෙසුණහ. අතීතය හා සසඳන කළ අද පොත්පත් ගණනින් එළි දැක්වේ. පොතක් අතට ගැනීමට පළමුව එහි සාරවත් භාවය ගැන සිතා බැලිය යුතුය.


          සාහිත්‍ය පිළිබඳව විශේෂයෙන් කතා කරන්නට සැත්තැම්බරයම යොදා ගන්නට විශේෂ හේතුවක් සොයා ගත නොහැකිය. කෙසේ වෙතත් අපේ රටේ පළමු සාහිත්‍ය උත්සවය පවත්වා ඇත්තේ සැත්තැම්බර් මාසයේදී ය. ඒ මග යමින් අද ද සැත්තැම්බරයේ සාහිත්‍ය උත්සව පැවැත්වේ. සාහිත්‍ය තරඟ පැවැත්වේ. සාකච්ඡා පැවැත්වේ. මෙම උත්සවයේ අරමුණ වූයේ උසස් පාඨක සමාජයක් නිර්මාණය කිරීම ය. 


         දේශපාලනික හේතු මත සිදු වූ ආණ්ඩු පෙරලියකින් පසු 1956 දී බලයට පත් වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා ය. එතුමා තම රජය පිහිටුවීමෙන් පසුව සංකෘතික කටයුතු භාරව අමාත්‍ය වරයෙකු පත් කළේය.  ඒ අනුව මෙරට සංස්කෘතික කටයුතු භාර ප්‍රථම අමාත්‍ය වරයා වූයේ රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවීර කුරුප්පු මහතාය. ඔහුගේ අනුදැනුම යටතේ පළමු වැනි රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීමේ කටයුතු සිදු වූයේ ය. 


           මේ වනවිට ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලය ස්ථාපිත කොට නොතිබුණි. ඒ වෙනුවට කටයුතු කළේ සංකෘතික ඇමතිවරයා විසින් පත් කරන ලද සාහිත්‍ය උපදේශක මඩුල්ලකි. එම උපදේශක මඩුල්ලට ජය පොල්වත්තේ බුද්ධන්ත හිමි, පූජ්‍ය කෝඳාගොඩ ඥානාලෝක හිමි, පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමි, පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි, පූජ්‍ය බඹරැන්දේ සිරි සීවලී හිමි, පූජ්‍ය කහඥමෝදර පියරතන හිමි යන පැවිදි පඬිවරුද මුදලිඳු ඊ.ඒ. අබේසේකර, ඩම්ලිව්.ඒ. සිල්වා, මාර්ටින් වික්‍රමසිංහ, සාගර පලන්සූරිය, අමරදාස වීරසිංහ, ඇන්. කියු ඩයස්, ටී.බී. පෙරමුණේතිලක, එම්.ඊ.ඩයස් යන විද්වත්හූද ඇතුළත් වූහ. 


         මෙම මුල්ම සාහිත්‍ය උත්සවයේ වැදගත් සිදුවීමක් වූයේ සාහිත්‍ය උපදේශක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද '' සාහිත්‍ය '' සඟරාවේ මංගල කලාපය එළි දැක්වීමයි. පූජ්‍ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි‍යොත් වින්සන්ට් පණ්ඩිත මහතාත් එම සඟරාවේ සංස්කාරකවරුන් ලෙස කටයුතු කළහ. කෙසේ නමුත් පළමුවැනි සාහිත්‍ය උත්සවය පැවැත්වූයේ 1957 සැත්තැම්බර් 7 - 8 දෙදින පැවැත්විණ. පළමු දිනයේදී එවකට අග්‍රාමාත්‍යවරයා වූ එස්.ඩම්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායක මහතා ප්‍රථම සාහිත්‍ය සම්මේලනය විවෘත කළේ ය. එදින සාහිත්‍ය කතිකාවතක් පැවතිණි. සැත්තැම්බර් 8 වෙනිදා සම්මාන පිදීම සිදු විය. සැත්තැම්බර් 7 වෙනිදා උත්සවය පැවතුණේ කෝට්ටේ සිරි පැරකුම්බා පිරිවනේ දීය. කතිකාවේ තේමාව වූයේ '' කෝට්ටේ යුගය '' යි. පූජ්‍ය මොල්ලිගොඩ ශ්‍රී ආරියවංශ හිමියන් ප්‍රධානත්වය ඉසිලූ අතර සාකච්ඡාවේ මුලසුන හොබවන ලද්දේ ජූලියස් ද ලැනරෝල් මහතා විසිනි. කෝට්ටේ යුගය පිළිබඳ ප්‍රධාන දේශනය පවත්වන  ලද්දේ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසිනි. දෙවනි සාකච්ඡා වටයේ දී පූජ්‍ය කිරිවත්තුඩුවේ ප්‍රඥසාර හිමියෝ මුලසුන හෙබවුහ. පූජ්‍ය වැලිවිටියේ සෝරත හිමි ප්‍රධාන දෙසුම් පැවැත්වූහ. 


           සෑම වසරකම සැත්තැම්බර් මාසයේදී සාහිත්‍ය උත්සව පැවැත්වේ.මෙවැනි සාහිත්‍ය දිනයක් අවශ්‍ය බව පළමු වරට උපදේශක සභාවට යෝජන කරන ලද්දේ එම සභාවේ සාමාජික ප්‍රවීන මාධ්‍යවේදියෙකු වූ ටි. බි. පෙරමුණේතිලක මහතා විසිනි. ඒ 1958 වසරේ ජනවාරි 16 වැනිදාය. එම යෝජනාවට අනුව සෑම වසරකම ජුනි 1 වැනිදා සිංහල සාහිත්‍ය දිනය සැමරිය යුතු බව උපදේශක සභාව තීරණය කළේය. එසේ එම යෝජනාව සම්මත වුවත් සැත්තැම්බර් මාසයම මේ සඳහා යොදා ගතයුතු බවට විශේෂ හේතුවක් නොවීම විශේෂත්වයකි. 


            සාහිත්‍ය සම්මාන ඉතිහාසයට අනුව නම් ප්‍රථම වතාවට සම්මාන පිරිනමා ඇත්තේ 1955 වසරේ දීය. සම්මාන පිරිනැමුනේ එක් එක් වසරේ පළවන හොඳම නිර්මාණාත්මක හෝ සංස්කරණාත්මක සිංහල සාහිත්‍ය කෘතිය යනුවෙනි.  පිරිනැමුණේ දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මානයයි. නැසීගිය හොරණ දොන් පේද්‍රික් මහතාගේ බූදලයේ භාරකාර මණ්ඩලය මෙම ත්‍යාග සඳහා අනුග්‍රහය දැක්වීය. රජයෙන් සාහිත්‍ය සම්මාන පිරිනැමිම ඇරඹුණු පසුව එය නතර කෙරිණි. 


දොන් පේද්‍රික් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූවෝ


1955 - ගුණදාස අමරසේකර මහතා - කරුමක්කාරයෝ

1956 - මාර්ටින් වික්‍රමසිංහ මහතා - විරාගය 

1957 - අදිරිවීර සරච්චන්ද්‍ර - කල්පනා ලෝකය 

1958 - මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා මහතා - සිංහල සැහැලි

1959 - සිරි ගුණසිංහ මහතා - හෙවනැල්ල 

1960 - මඩවල එස්. රත්නායක මහතා - අක්කර පහ 

1961 - පුංචි බණ්ඩාර සන්සල්ගල මහතා - සිංහල සාහිත්‍ය වංශය 

1961 - කේ. ජයතිලක මහතා - චරිත තුනක් 


         ප්‍රථම වතාවට රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලක් ඇරඹුණේ 1960 වසරේදී ය. සාහිත්‍ය උත්සවය පැවැත්වුණේ අනුරාධපුර මහා විද්‍යාලයේදී එවකට අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙනි. එදින සිට අද දක්වාම නොකඩවා රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වේ. 


ප්‍රථම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී පිරිනැමුණු සම්මාන 


  • හොඳම නව කතාව - ගිනි සිසිල - පියසේන නිශ්ශංක මහතා
  • හොඳම කාව්‍ය සංග්‍රහය - නිෂාදී - විමල් අභයසුන්දර මහතා
  • හොඳම පරිවර්තනය - වානරයා - ඒ.පි. ගුණරත්න මහතා

Post a Comment

8 Comments