කාන්තාරය




         වියළි, වැලි සහිත, ඉහළ උෂ්ණත්වයක් සහ වසරකට අඟල් 10 කට අඩු වර්ෂාපතනයක් ලැබෙන ප්‍රදේශයක් කාන්තාරයක් ලෙස හඳුන්වයි. අධික ලෙස වියළි කාන්තාරයකට වසරකට අඟලක් තරම්වත් වර්ෂාවක් නොලැබේ. ඒවාට ජලය ලැබෙන්නේ මීදුම වශයෙනි. වැසි වැටුණත් ජලය ඉක්මනින්  වාෂ්ප වී යයි. ඉහළ කඳුකර ප්‍රදේශවල තිබෙන කාන්තාර අතිශයින් ම සීතලය. සමකය ආසන්නයේ තිබෙන කාන්තාර අතිශයින් ම උණුසුම් ය. කාන්තාර  ඒ නමින් හඳුන්වන්නේ ඒවා නිරන්තරව වියළි නිසා ය. වාර්ශික වර්ෂාපතනය, උෂ්ණත්වය, ආර්ද්‍රතාව සහ වෙනත් සාධක කිහිපයක්ම කාන්තාර වර්ගීකරණයට යොදා ගැනේ. කාන්තාර බොහෝ විට මිනිස් වාසයෙන් තොරය. නැතොහොත් ඒවායේ වාසය කරන්නේ සංචාරක එඬේරුන් හෝ ගෝත්‍රිකයන් පමණකි. කාන්තාර වැඩිපුරම පිහිටා ඇත්තේ සමකයෙන් දෙපස කර්කටක නිවර්තනයට හා මකර නිවර්තනයට අයිති ප්‍රදේශවලය. 


  •   උෂ්ණ කාන්තාර සහ ශීත කාන්තාර යනුවෙන් කාන්තාර වර්ග දෙකකි. 


උෂ්ණ කාන්තාර


          උෂ්ණ කාන්තාර යනුවෙන් හඳුන්වනු ලබන්නේ වසර පුරාම සාමාන්‍ය උෂ්ණත්වයක් පවතින කාන්තාරවලටයි. මෙම කාන්තාර වලට ජලය ලැබෙන ප්‍රමාණයට වඩා කාන්තාරයෙන් වාෂ්ප වන ජල ප්‍රමාණය වැඩිය. ඉතා සියුම් දූවිලි සහ වැලි අංශු සුලඟින් ගසා ගෙන යයි. මේ කාන්තාරවල භූ රූප නිර්මාණය වෙන්නේ සුලඟින්, අව්වෙන් හා ඉදහිට ලැබෙන වර්ෂාවෙනි.

  

නිදසුන්  -  


  • සහරා කාන්තාරය
  • කලහාරි කාන්තාරය
  • නැමීබ් කාන්තාරය
  • අටකාමා කාන්තාරය
  • ඉරාන කාන්තාරය
  • ඕස්ට්‍රේලියානු කාන්තාරය
  • සොනොරන් කාන්තාරය
  • මොජාවේ කාන්තාරය


සීත කාන්තාර


        සීත කාන්තාර යනුවෙන් හඳුන්වන්නේ හිමපතනය සහ අධික ලෙස වර්ෂාව ලැබෙන කාන්තාරයි. ඒවා පිහිටා තිබෙන්නේ ඇන්ටාට්ටිකාව ග්‍රීන් ලන්තය හා ආට්ටික් කලාපයට ආසන්නයේ ය. කටු සහිත කොළ ඇති පැළෑටි මෙහිදී දක්නට ලැබේ. කැන්ගරු මීයා, ඇන්ටිලොප්, බිම්ලේනුන් ආදී සත්තු මේවායේ වාසය කරති. 


නිදසුන්  - 


  • තුර්ක්මෙනිස්තාන් කාන්තාරය
  • ගෝබි කාන්තාරය
  • පැටගෝනියා  කාන්තාරය


කාන්තාරකරණය


         දේශගුණය වෙනස් වන විට සමහර කාන්තාර පුළුල් වෙන අතර තවත් කාන්තාර ප්‍රමාණයෙන් අඩු වේ. මනුෂ්‍යයන් විසි බෝග වගා කිරීම හා අධිකව සතුන් උලාකෑම ( ගව, බැටළු, එළු ), නියඟය යනාදී හේතු නිසා ලෝකයේ අර්ධ ශුෂ්ක ප්‍රදේශ, ස්ථීරවම කාන්තාර බවට පත්වේ. කාන්තාරකරණය යනු එයයි. 


        පෘථිවි ගොඩබිමෙන් පහෙන් එකකටත් වැඩි ප්‍රමාණයක් කාන්තාර වන අතර ඒවා සෑම මහද්වීපයකම තිබේ. ලෝකයේ විශාලම උෂ්ණ කාන්තාරය අප්‍රිකාවේ සහරා කාන්තාරයයි. දිවා කාලයේදී එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ක් පමණ වේ. කෙසේ නමුත් ආසියාවේ ගෝබි කාන්තාරය හැමවිටම සීතලය. කාන්තාර වාසී සතුන් හැඩ ගැසී තිබෙන්නේ ජල හිඟයටත් උෂ්ණයටත් ඔරොත්තු දෙන ආකාරයට ය. ඔවූහූ වැඩි ප්‍රමාණයක් නිශාචරයෝ වෙති. කාන්තාර ඉබ්බන් වැනි තවත් සතුන් ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරන්නේ පොළව යටය. කාන්තාර ශාක බොහෝමයකට වසර සිය ගනනක් උවද පැවතිය හැකිය. සමහර ශාක වියළි දේශගුණයට ඔරොත්තු දෙන්නේ පොළව යට බොහෝ ගැඹුරට විහිදී ජලය ලබා ගත හැකි මුල් පද්ධතියක් තිබෙන නිසායි. පතොක් වැනි ශාකවලට ජලය සංරක්ෂණය කර ගැනීමට විෂේශ ක්‍රම තිබේ. 


කොයෝටි 


        මධ්‍යම ඇමරිකාවේ සහ උතුරු ඇමරිකාවේ කාන්තාරව වල වාසය කරන මාංශ භක්ෂකයෙකි. රියා වැනි පක්ෂීන්, උරගයින්, කෘන්තකයින්, ගෝනුස්සන් ආදිය මොහු ආහාරයට ගනී. කාන්තාර කොයෝටීන්ගේ ලොම් කාන්තාර වැලි පැහැතිය. මොවුන්ගේ ආයුකාලය වසර 13 ක් පමණ වේ. 


අප්‍රිකානු බිම් ලේනා



         සහරා කාන්තාරයේ වයඹ දිග ප්‍රදේශයේ ජීවත්වෙන බිම් ලේනා මුල්වර්ග, ඇට වර්ග, කුඩා පෘෂ්ඨවංශකයින් සහ කුඩා කෘමීන් ආහාරයට ගනී. මොවූහූ දිවා කාලයට ක්‍රියාකාරී වන්නෝය. ජීවත්වන්නේ පොළොව යට ගුහාවලය.  


තෙල් ළිං 


කාන්තාරයේ සමහර තැන්වල පොළොව හෑරීමෙන් පොළොව යට ඇති තෙල් සම්පත් ලබාගැනේ. 


ක්ෂේම භූමි



කාන්තාරයේ ජලය තිබෙන තැන් ක්ෂේම භූමි යනුවෙන් හැඳින්වේ. ක්ෂේම භූමි වටා මිනිස්සු නගර සාදා ගනිති. 


බීට්ල් කුරුමිණියෝ 


         මොවුන්ගේ පියාපත් කහ පැහැතිය. ඒ නිසා කාන්තාර වැල්ල මතදී මොවුන් පහසුවෙන් නොපෙනේ. ඔවුන්ගේ දිග පාද මගින් උන්ගේ සිරුරු උණුසුම් වැල්ලෙන් ඔසවා තැබේ.


කටුස්සා 


        කාන්තාර කටුස්සාගේ සිරුරේ පිටුපස තියුණු උල් පිහිටා ඇත. මේවා, සතුරු පහරදීම්වලින් ආරක්ෂාව සලසා ගැනීමට කටුස්සාට ලැබී තිබෙන අනුවර්තනයකි. 


ගෝනුස්සා


       ගෝනුස්සාගේ වලිගයේ අග විස තුඩක් තිබේ. ගෝනුස්සා පිටතට පැමිණ ගොදුරු කර ගැනීමට කෘමීන් සොයා යන්නේ රාත්‍රියය. 


ගල් කාන්තාර 


         සමහර කාන්තාරවල කැබලි වී ගිය ගල් කැට හා විශාල ගල් බහුලය. ඒවායේ හැදෙන ශාකවල, ඒවාට ආවෙණික ජල ගබඩා තිබේ. 


අප්‍රිකානු මුගටියා


          දකුණු අප්‍රිකාව පුරාම ව්‍යාප්තව සිටින, මුගටි පවුලට අයත්, ප්‍රමාණයෙන් කුඩා මාංශ භක්ෂකයෙකි. ගුල්වල සිටින මොවූහූ දිවා කාලයට පොළොව මතුපිටට පැමිණ වෙසෙති. කිසියම් අනතුරක් ඇත්දැයි සොයා බැලීම සඳහා පසු පාදවලින් සිටගෙන වටපිට බැලීම අප්‍රිකානු මුගටියාගේ විශේෂ ලක්ෂණයකි. 


ඔටුවා



         ආහාර හෝ ජලය නැතිව දින ගණනාවක් වුවද ජීවත් වීමට ඔටුවාට හැකියාව තිබේ. මේ කාලය අතරතුර ඌ ජීවත්වන්නේ මොල්ලිවල ගබඩා කරගත් මේදයේ උපකාරයෙනි. පිට මැද එක් මොල්ලියක් පමණක් ඇති මේ ඔටුවා ජීවත්වන්නේ අප්‍රිකාවේ, මැදපෙරදිග හා ඕස්ට්‍රේලියාවේ කාන්තාරවලය .


වැලි කාන්තාර


          වැලි කාන්තාර, සුළඟින් ගසාගෙන යන වැලිවලින් හැදෙන වැලි කඳුවලින් ගහනය. මේවායේ හැඩය නිරන්තරව වෙනස් වේ. මේ උණුසුම් සහ වියළි භූමිවල වැවෙන්නේ ශාක වර්ග කිහිපයක් පමණයි.


පතොක්


        සගුවාරෝ පතොක්, ඇරිසෝනාවේ සොනෝරන් කාන්තාරයට ආවේණික ශාකයකි. මේවාට වසර 200කටත් වැඩි ආයුෂ ඇති අතර ගෙයකටත් වඩා උසයන්නට පුළුවන. ඉතා ප්‍රබල වියළි සුළං මඟින් කාන්තාරවල තිබෙන පාෂාණ විවිධ හැඩවලට ඛාදනය වේ. එල්ෆ් බස්සෝ මේ උසැති පතොක් ගස්වල ඇති සිදුරු අතරේ කූඩු තනා ගනිති. 


ටෝරැග්වරු


          අප්‍රිකාවේ ගෝත්‍රික වරගයක් වන ටෝරැග්වරු, එළු සමෙන් කළ කූඩාරම් තනාගෙන සහරා කාන්තාරයේ ජීවත්වෙති. සංචාරක ගෝත්‍රිකයන් වන ඔවූහූ, ඇති කරන එළුවන්ට සහ ඔටුවන්ට කෑම පිණිස තණ සොයමින් තැනින් තැන සංචාරය කරති. කාන්තාරය ඔස්සේ ගමන් කරන විට බඩු භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඔවුන්ගේ එකම ප්‍රවාහන මාධ්‍යය මේ ඔටුවන් ය. සතුන්ගෙන් බේරා ගැනීම සඳහා ඔවුන් ගස්වල බඩු බාහිරාදිය එල්ලා තබති. 


රැට්ල් ස්නේක් 


          විස සහිත උරගයෙකි. රැට්ල් ස්නේක් යනුවෙන් නම් ලැබී තිබෙන්නේ වලිගයේ කෙළවර තිබෙන කොටසකින් ශබ්දයක් උපදවන බැවිණි. ඌ හඬ උපදවන්නේ අන් සතුන්ට අනතුරු ඇඟවීමටයි. රැට්ල් විසින් ආහාරයට ගනු ලබන්නේ මීයන්, හාවුන් සහ වෙනත් කෘමීන් ය. විස දලෙන් පහර දීමෙන් අනතුරුව ඌ මුළුමනින් ම ගොදුර ගිල දමයි. හූනන් වැනි කුඩා සතුන් අල්ලා ගැනීම සඳහා වැලි යට සැඟවී වලිගයේ අඟ පමණක් පිටතට දමාගෙන සිටියි. එවිට එය වියළී ගිය තණ ගසක් යැයි රැවටී කුහුඹුවෝ පැමිණෙති. ඒ කුහුඹින් කෑමට හූනා එන විට සැඟවී සිටි තැනින් පිටතට පැන ගොදුරු කර ගනී. 


මොල්ලි දෙකේ ඔටුවා


             බැක්ට්‍රියන් ඔටුවාට මොල්ලි දෙකක් තිබේ ඌ ජීවත්වෙන්නේ සෞම්‍ය ස්වභාවයෙන් යුත් ආසියාවේ කාන්තාරවලය. කාන්තාරයෙ නිරන්තරව හමන වැලි සුළංවලින් ඔටුවාගේ ඇස් ආරක්ෂා කරන්නේ ඝන ඇහිබැමි ය.  

Post a Comment

7 Comments