එඩේර යුගයේ මිනිසා
දඩයම් යුගයෙන් පසුව එලබෙන්නේ එඩේර යුගයයි. එය සංචරක දිවියක් විය. එබැවින් මෙම යුගය සංචාරක එඩේර යුගය ලෙස හදුන්වයි. සත්ව පාලනය එඩේර යුගයේ මිනිසාගේ ප්‍රධාන ජීවනෝපාය විය. මෙතෙක් සතුන් දඩයම් කරමින් යැපුණු මිනිසා එඩේර යුගයේ දී සතුන් හීලෑ කර ගන්නට හුරුවිය. එඩේරූ ඉතා සරල දිවි පෙවෙතක් ගත කළහ. සතුන්ට ආහාර කැවීමටත්, තම ආහාර සපයා ගැනීමටත් ඔවුන්ගේ දවස වෙන්විණි. හැරමිටියක් අතින් ගෙන ගවයන්, එළුවන්, බැටළුවන් දක්කමින් ලොව පුරා එඩේර යුගය විසිර ගියේ ය.
දඩයම් යුගයෙන් එඩේර යුගයට
දීර්ඝ කාලයක් දඩයමින් යැපුණු මානවයා එඩේර දිවියට යොමු වන්නේ ක්‍රමයෙනි. දඩයම් කළ සතුන්ගේ අනාථ වූ පැටවුන් ඇතිදැඩි කිරීමට පෙලබීම එහි ආරම්භය වූවා යැයි සිතිය හැකියි. හීලෑ කරගත් වල් ඌරන්, එළුවන්, බැටළුවන්, ගවයින් ආදී සතුන් එහිදී ප්‍රධාන විය. ක්‍රමයෙන් සතුන් හීලෑ කර බෝකිරීමටත්, ගාල් කර රැකබලා ගැනීමටත් යොමු වූහ. එම සතුන්ගේ කිරි හා මස් ලබාගත්හ. මේ ආකාරයට දඩයම් ජීවිතයෙන් ඈත් වී සත්ව පාලනයට යොමු වූහ.
හීලෑ වූ පළමු සතා
දඩයම් කරුවන් ඉවතලූ සත්ව ආහාර කොටස්වලට ඉව වැටුණු වල් බල්ලෝ නිතර නිතර ඒ අවට සැරිසරන්නට වූහ. අනෙක් සතුන්ගේ ආගමනයට විරුද්ධව මහ හඩින් බුරමින් ඒ බව මිනිසුන්ට දන්වා සිටියහ. බල්ලා මිනිසාගේ හිත්වතා බවට පත්විය. සතුන් ලුහුබැද ගොස් අල්ලා ගැනීමට දක්ෂ, විශ්වාසවන්ත, ආරක්ෂිත සේම,සුරතලයට ප්‍රිය කළ බල්ලා පළමුව මිනිසාගේ ඇසුරට වැටුණු සත්වයා විය.
එඩේර දිවිය
මොවූහූ හීලෑකරගත් සතුන් දක්කාගෙන ආහාර ඇතිතැන් සොයා තැනින් තැනට ගියහ. සතුන්ට තණ කැවීමට සුදුසු තණබිම්වල ලැගුම් ගත්හ. තැනින් තැනට යනවිට භාණ්ඩ රැගෙන යාමට අශ්වයා, බූරුවා ආදී හීලෑ කරගත් සතුන් යොදාගත්හ. එක් තණ බිමක තණ අවසන් වූ පසුගවයන්, බැටලුවන් දක්කාගෙන තවත් තණ පිඩකට සංක්‍රමණය වූහ. එසේ තැනින් තැනට යාමේ දී වැස්සෙන් පින්නෙන් ගිනිමැලය ආරක්ෂා කරගැනීමට අවශ්‍ය වූ බැවින් ගිනි මැස්සක් තනා ගත්හ. ගිනිමැස්ස යනු ගිනිමැලයේ ආරක්ෂාවට සැකසූ පැලකි. මෙසේ ගතකළ සංචාරක දිවියේ දී වෙනත් ගෝත්‍රිකයෝ, වෙනත් ප්‍රදේශවල මිනිසුන්ට මුණ ගැසුණහ.
එඩේර පවුල
එඩේර පවුල විශාලය. සාමාජිකයන් 25 ක් 50 ක් පමණ විය. ගැහැණු පිරිමි වශයෙන් වැඩ බෙදාගෙන තිබිණි. කිරි දෙවීම, බිත්තර එකතු කිරීම, දරුවන් රැකීම හා ආහාර පිසීම කාන්තාවන්ගේ කටයුතු විය. සතුන් පාලනය කිරීම, සාත්තු කිරීම හා දඩයම් කිරීම පිරිමින්ගේ කාර්යය විය.
ආහාර
දඩයම් යුගයට වඩා එඩේර යුගයෙදී කෑම බීම සුලබ විය. සත්ව ආහාර ප්‍රධාන විය. දඩයමෙන් ආහාර රැස් කරගත් අතර ආහාර හිග වූ විට ඇතිකරන සතුන් මරා කෑහ. සත්ව පාලනයෙන් කිරි හා බිත්තර සපයාගත් අතර කිරිවලින් විවිධ ආහාර සකස්කරගත් බව පෙනේ. මේ හැරුණු විට මසුන් දඩයම් කර තිබේ. තවද අල වර්ග, දලු වර්ග හා පලතුරු වියාළා ඒවා ආහාරය ගත්හ.
ඇදුම් පැලදුම්
සත්ව හම්වලින් ඇදුම් සකස් කර ගත්හ. සංචාරක දිවියේ දී අව්ව, වැස්ස,සීතල වරින් වර වෙනස් විණි. එබැවින් එඩේර දිවියක් ගත කළෝ දඩයම් යුගයේ දී විසූවන්ට වඩා ඇදුම් කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූහ.
වාසස්ථාන
තණබිම් සොයමින් සතුන්ද දක්කාගෙන තැනින් තැනට ගිය බැවින් ඔවුන්ට ස්ථීර වාසස්ථාන නොවිණි. වහින විට වැස්සෙන් බේරීමට ගිනි මැස්සා ලගට රැස් වූහ. විටෙක සත්ව ඇට කැබලි, එළුවන්ගේ ලොම්, දැව, වරපා යොදා කූඩාරම් තනා ගත්හ. අතරමග හමුවන ගල්ගුහාවල ද තාවකාලිකව රැදෙමින් ගමන් කළහ.
මෙවලම්
හැරමිටිය එඩේර යුගයෙදී සමාජ ගත වූ ප්‍රධාන මෙවලමකි. ඔවූහූ නිතර මුගුරක් අත රදවා ගත්හ. ඒ සතුන් පාලනය කිරීමට යි. ශක්තිමත් ලීයක් නවා දෙකෙලවර වැල්පටකින් ගැටගසා දුන්න නිපදවීමට ඔවූහ දැන සිටියහ. එවිට දුර සිටි සතුන්ට දුන්නෙන් විද දඩයම් කිරීමට හැකි විය. දඩයම් යුගයේ දී පරිහරණය වූ රළු මෙවලම් ඔපමට්ටම් කර භාවිතයට ගත්හ. ජලය රැස් කිරිමට විශාල භාජන භාවිතා කර තිබේ. විවිධ මැටිභාණ්ඩ තැනීමට ද ඔවුන් දැන සිටි බවටද පුරාවිද්‍යා සාධක තිබේ.
ඇදහිලි හ විශ්වාස
සත්ව පාලනය මුල් කරගත් ඔවූහූ සතුන් වෙනුවෙන් විවිධ චාරිත්‍ර විධි සකසා ගත්හ. සත්ව රූප තනා ඒවාට වන්දනා කළ බවට සාක්ෂි හමු වී තිබේ. සතුන් මැරීමේ දී හිස කදින්වෙන් වීම සහ කකුල් වලට පහර දි මරණයට පත් කිරීම ආගමික චාරිත්‍රයක්ව පැවතිණි. වැස්ස ලබා ගැනීමට, වසංගතවලෛන් ආරක්ෂා වීමට දෙවියන් උදෙසා බිලි පූජා පවත්වා තිබේ. එහෙත් ඔවුන්ට විදිමත් දේව සංකල්පයක් නොතිබිණි. රෑස්ස ගස්වලට හා මහා පර්වත් වලටත් .විදුලි, අකුණු, සුළං කෙරෙහි දැක්වූ බිය නිසා ඊට වන්දනාමාන කර තිබේ. මළවුන් පිදීමේ චාරිත්‍ර ද අනුගමනය කර තිබේ.
සන්නිවේදනය
මොවූහූ අදහස් හුවමාරුවේදී විවිධ ශබ්ද හා සංකේත භාවිතා කළහ. යම් යම් දේ දැනුම් දීමට හූ හඩ නැගීම, යමකට තට්ටු කිරීම, දුම් ගැසීම ආදී ක්‍රම යොදාඅගෙන තිබේ. එසේම ඇට කැබලි, ලොම්, ලෝහ ආදියෙන් යම් යම් සංකේත සටහන් කටන ලදී. ඒවා පසු කාලයේදී අක්ෂර බිහි වීමට හේතු විය.
ලොව පුරා
මධ්‍ය ආසියාතික ප්‍රදේශවල සිටි ආහාරයට සුදුසු තෘණ බිම් සොයා යෑමේ ගමන ඇරඹූ මිනිසා එඩේරයින් ලෙස ලොවපුරා විසිර ගියේය. ක්‍රි.ව.1500 ට පෙර ආර්යයන් ඉන්දු නිම්නයට සංක්‍රමනය වූයේ ද එඩේරුන් ලෙසිනි.
යුගයේ ගැටලු
සංචාරක දිවියක් ගෙවූ නිසා ඔවුන්ට මුහුණ පාන්නට සිදු වූ දුෂ්කරතා බොහෝය. වර්ෂා කාලයේ දී ගංවතුරට සහ සීතලට ගොදුරු වූ ඔවූහූ නියං කාලයේ දී ජලය නොමැතිව අසරණ වූහ. තාණ බිම් වියළී ගිය අතර සතුන් නිරාහාරව මිය යන්නටත් විය. මේ නිසා රෝගීවූ සගයින් සහ සතුන් රැගෙන සංචාරය කිරීම අසීරු කාර්යයක් විය.ොවුන් අතහැර යාමට ද නොහැකි විය. තැනින් තැනට සත්ව රංචු දක්කගෙන ගමන් කිරීම අනාරක්ෂිත විය. වන සතුන්ගේ ප්‍රහාර වලට ගොදුරු වූ අතර ගමන් මාර්ග පාදා ගැනීම දුෂ්කර විය.
ගැටලුවලට විසදුම්
එඩේරුන් ගත කළ සංචාරක දිවිය තුළ ඔවුන් අත්විදි මේ ගැටලුවලින් මිදීමට නම් ස්ථීර වාසස්ථනයක පදිංචි විය යුතු බව ඔවුන්ට වැටහිණි. වෙහෙසකර සංචාරය අතහැර දැමූ ඔවූහූ ගොවි යුගයට එළඹුණහ.




13 Comments
Good work👍👍
ReplyDeleteGreat 🔥
ReplyDeleteGood
ReplyDeleteGood
ReplyDelete👍👍👍
ReplyDeleteGood job🎉️🎉️👍
ReplyDelete💪👍
ReplyDeleteBest 👌
ReplyDeleteSuper 👍
ReplyDelete👍👍
ReplyDeleteGreat❤️
ReplyDelete👍👍👍👍
ReplyDeleteGreat 💛🥂
ReplyDelete