අන්කෝර් පුදබිම


     ලෝක පුදුම ලෙස හැදින්වෙන, මිනිසා විසින් හෝ ස්වභාවධර්මයා විසින් හෝ නිර්මාණය කරනු ලැබූ අපූරු විශ්මිත නිර්මණ සහ ස්ථානය. ලෝකයේ ඉපැරණි පුදුම හත., නූතන ලෝකයේ පුදුම හත, ඉංජිනේරු විස්කම් සහ ස්වභාවික පුදුම හත යනුවෙන් ලෝක‍යේ පුදුම වර්ගීකරණය වී ඇත. මෙම වර්ගීකරණයට ඇතුළත් නොවූ පුදුම ලෝකයේ පවති. ඒවා ලෝක පුදුම ලෙස නම් වී නැතත්, ඒවා යුනෙස්කෝ ලෝක උරුම අතරට එක් වී ඇති අතර සංචාරක ආකර්ෂණයන් ලෙසට ප්‍රකට ය. උතුරු සහ දකුණු ඇමරිකාවේ,ආසියාවේ,යුරෝපයේ,අප්‍රිකාවේ,ඕස්ට්‍රේලියාවේ සහ ඒ අවට ආසියානු කලාපයේ සහ මැද පෙරදිග කලාපයේ මේ පුදුම දකින්නට ලැබේ.

කෙමර් අධිරාජ්‍යයේ සුලමුල 


     ක්‍රි.පූ. පළමු සියවසේ සිට 15 වන සියවස තෙක් කාලය,අග්නිදිග ආසියාවේ කෙමර් අධිරාජ්‍යයේ පැවති යුගය ලෙස සැලකෙයි. කෙමර් අධිරාජ්‍යයේ අගනුවර අන්කෝර් ය. අතීතයේ සියම ( වර්තමානයේ තායිලන්තය ) සහ කාම්බෝජ දේශසිමාව ආශ්‍රිතව, කාම්බෝජයට අයත් ප්‍රදේශයේ අන්කෝර් පුරය පිහිටා තිබුණි. නටබුන් වී ගිය මෙම ඉපැරණි පුරය, දීර්ඝ කාලයක් තිස්සේ පැවති දේශසීමා ගැටුම් හේතුවෙන් විනාශයට පත් වී තිබුණි. එහෙත් මෑත කාලයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් පසු සිදු කළ සංරක්ෂණ කටයුතු හේතුවෙන් අන්කෝර් පුරය, අද ආසියාවේ සුප්‍රසිද්ධ ලෙස සංචාරක ආකර්ෂණයක් බවට ද පත්ව තිබේ.

පූජනීය නගරය







     '' අන්කෝර් '' යනු සංස්කෘතික වදනකි. එහි අර්ථය '' පූජනීය නගරය '' යන්නයි. අන්කෝර් ආගමික ගොඩනැගිලි,ස්මාර්ක,පිළිම,වැව් අමුණු,දිය අගල් ආදියෙන් සමන්විත දැවැන්ත පුරවරයකි. ක්‍රි.පූ. පළමු සියවසේ සිට 15 වැනි සියවස තෙක් කාලයේ එය කෙමෙන් කෙමෙන් වර්ධනය වී දැවැන්ත පුරවරයක් බවට පත් විය.පුරයේ ජීවත් වූ වැසියන් කවුරුන්දැයි නිශ්චිතව පැවසීමට පුරාවිද්‍යාවරුන්ට හැකි වී නැත.

අන්කෝර් ටොම් 


     අන්කෝර් පුරයට අයත් 'අන්කෝර් ටොම් ' පරිශ්‍රය ඉදි කරනු ලැබ ඇත්තේ හත්වැනි විජයවර්මන් රජු විසිනි. ඒ කේමර් අධිරාජ්‍යයේ ස්වණමය යුගයෙදී  ය. අන්කෝර් ටොම් වර්ග කිලෝ මීටර් 9 ක් පුරා විහිදී පවති. කිලෝ මීටර් 3 ක දිග හරි හැතරැස් පවුරකින් ද දිය අගලකින් ද අන්කෝර් ටොම් සමන්විතය. පවුර කෙළවර සතරේ දොරටු හතරක් නිර්මාණය කර ඇත. මේ දොරටු සතරේ දෙවිවරුන් සහ යක්ෂයන් කැටම් කළ ගල් කැටයම් දක්නට ලැබේ. 

අන්කෝර් වොට්


     අන්කෝර් පුරයට අයත් තවත් විශිෂ්ටතම නිර්මාණයක් වන්නේ අන්කෝර් වොට් ය. මෙය ලොව විශාලතම ආගමික ගොඩනැගිල්ල ලෙස  සැලකෙයි. පුරාණ කාම්බෝජයේ වාස්තු විද්‍යා සම්ප්‍රදායට අයත් විශිෂ්ටතම නිර්මාණය මෙම ගොඩනැගිල්ල ලෙස ප්‍රකට ය. මෙය ඉදිකර ඇත්තේ දෙවැනි විජයවර්නම් රජු සමයේ දී ය. ඒ විෂ්ණු දෙවියන් සදහා පුද පූජා කිරීමට ය. එහෙත් හත් වැනි විජයවර්නම් රජු මෙම ගොඩනැගිල්ල බෞද්ධ පන්සලක් බවට පරිවර්තනය කළේ ය. මෙය අදත් බෞද්ධ පූජනීය ස්ථානයකි. මෙය වටා ද සමචතුරස්‍රාකාර දිය අගලක් ඉදි කර තිබේ. 

විශ්ව කීර්තියට 







     කෙමර් අධිරාජ්‍යයේ සූර්යවර්මන් රජුගේ සොහන පිහිටා ඇත්තේ ද අන්කෝර් වොට් පරිශ්‍රයේ බව පැවසෙයි. එම සහොන් ගෙය ඉදිකර ඇත්තේ බටහිර දිශාවට මුහුණ දෙන ආකාරයට ය. අන්කෝර් වොට් පමණක් නොව අන්කෝර් පුරය ද විශ්ව කීර්තියට පත් ස්ථානයක් බවට පත්වී ඇත්තේ එහි වාස්තු විද්‍යාත්මක වටිනාකම නිසා ය. මෙහි බිම් සැලැස්ම ද කැපී පෙනෙයි. 

දිය අගල

      අන්කෝර් වොට් වටාද දිය අගලක් දකින්න ලැබේ. එය කිලෝ මීටර් 4 ක් පමණ දිගය. අන්කෝර් වොට් මහල් තුනකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි පාදම මුළුමනින් ම ගලින් ඉදි කර ඇත. එය ඉදිකර ඇත්තේ බදාම නොමැතිව වීම විශේෂත්වයකි. අනෙක් ගොඩනැගිලි සහ ස්මාර්කවල මෙන් ම අන්කෝර් වොට් ගොඩනැගිල්ලද විසිතුරු ගල් කැටයම් වලින් අලංකාර වී ඇත. ඒවා මූර්ති කලාවට නොව සිතුවම් කලාවට සමීප යැයි විද්‍යාවරුන් පෙන්වා දෙති. විද්‍යාවරුන් පවසා ඇත්තේ ඒවා අල්පෝන්නතව හෙවත් මන්දෝන්නත ක්‍රමයට කළ කලා නිර්මාණ නිසාය.  මෙම ගල් කැටයම් ඉන්දියාවේ ඉපැරණි අමරාවතී කැටයම් සම්ප්‍රදායට සමාන යැයි ද පැවැසෙයි. 

කාම්බෝජය ගැන තොරතුරු 


     කාම්බෝජය අග්නිදිග ආසියාවට අයත් රාජ්‍යකි. පිහිටා ඇත්තේ ඉන්දු චීන අර්ධද්වීපයේ ය. කාම්බෝජයේ අගනුවර නොම් පෙන් ය. තායිලන්තයට, ලා ඕසයට සහ වියට්නාමයට මායිම් වෙයි. නොම් පෙන් කාම්බෝජයේ විශාලතනම නගරය වෙයි. කාම්බෝජය කේමර් අධ්රාජ්‍යයේ තෝතැන්නය. කාම්බෝජයේ 90% ක් ක්‍රෙමර්වරුන් ය. ඊට අමතරව චීන සහ වියට්නාම වැසියෝ ද වෙසෙති. ප්‍රධාන ආගම ථේරවදී බුද්ධගම ය. බෞද්ධයන් 96% කි. මුස්ලිම්වරුන් 1.9% කි. ක්‍රිස්තියානුවන් 0.4 % කි. රටේ ඇත්තේ ඒකීය පාර්ලිමේන්තු රාජ්‍ය පාලන ක්‍රමයකි. ජනගහනය මිලියන 15 ක් පමණි. 

කෘෂි කර්මාන්තය

     අන්කෝර් වැසියන්ගේ සංස්කෘතිය කෘෂිකර්මාන්තය සමග බද්ධව පැවති බව වැව් අමුණු සහ දිය අගල් නිර්මාණය කර ඇති අයුරින් පැහැදිලිව පෙනෙයි. සියමයෙන් එල්ල වූ හමුදා ආක්‍රමණ හේතුවෙන් හටගත් යුධ ගැටුම්  නිසා කෘෂිකාර්මික කටයුතු ඇණ හිටීමෙන් අන්කෝර් සංස්කෘතිය බිද වැටෙන්න ඇතැයි අනුමාන කෙරේ. නටබුන් වූ අන්කෝර් පුරය යළි සොයා ගැනීමට හැකි වූයේ 1850 දී ප්‍රංශ ජාතික මිෂනාරිවරුන් කණ්ඩායමකටය. 

ප්‍රංශයට යටත්වෙයි

     1863 දී කාම්බෝජය ප්‍රංශ යටත් විජිතයක් බවට පත් වූ අතර ප්‍රංශ ගවේෂකයන් මැදිහත් වී වසර ගණනක් අතහැර දමා තිබුණු නටබුන් වී ගිය අන්කෝර් පුරය සංස්කරණය ආරම්භ කළේ ය. නිධන් හොරුන්ගෙන් සහ අනවසර කැලෑ එලිකරන්නන් ගෙන් පුරය ආරක්ෂා කළේ ප්‍රංශ ජාතිකයන් ය. 1953 දී කාම්බෝජය නිදහස් රාජ්‍ය‍යක් බවට පත් විය ඉන්පසු අන්කෝර් සංරක්ෂණ  කටයුතු පැවරුනේ කාම්බෝජ රජයට සහ එරට සංකෘතික උරුම දෙපාර්තුමේන්තුවට ය. කාම්බෝජ ජාතික ධජයේ නිරූපණය වන සංකේතය වන්නේ ද අන්කෝර් වොට් ය.  

Post a Comment

17 Comments